රසායනික පොහොර, කෘමි නාශක අනවශ්‍ය ප්‍රමාණයට (අව)භාවිතා කිරීම නිසා අද වන විට අපේ ආහාර පිගානත් මහ පොලොවත් දෙකම වස වී තිබේ. අප දරුවන්ට ඉතා ආදරයෙන් වස කවමු. දිනෙන් දින අපට බත සපයන කෙතත් මහ පොලොවත් මරමින් සිටිමු.
අතීතයේ අපට වැව හා බැඳුනු විශ්වාස කල නොහැකි තරම් සුන්දර හා විශ්වාසනීය සංස්කෘතියක් තිබුනා.ඒ මහා පාරිසරික පද්ධතිය තුල අපේ මහ වැව ගම් තුලානේ කෙත් වතු සරු සාර ලෙස අස්වද්දවා. අපේ දූ දරුවන් නිරෝගීව පෝෂණය කලා. වැවට ඉහල වනය අලි ඇතුන් සතා සීපාවට ඇති තරම් ආහාර පෝෂණය දුනි. ඒ මහා වනයේ දිය උල්පත් වලින් වැව පෝෂණය කලා. වැවෙන් පහල මිනිසුන් වෙනුවෙන් වෙන් වුනා.
අතීතයේ ගොවියා ගැමියා විතරක් නෙවෙයි රටේ රජුත් දැනගෙන හිටියා මී ගහේ මහා වටිනාකම ගැන. ඒ හිංදා හෑම වැවකම වැව් බැම්මේත් කෙත් වතු වටාත් මහා දැවැන්ත මී ගස් තේජාන්විතව ආරක්ෂාකාරීව තම රාජ කාරිය ඉටු කලා. රටේ රජුත් මේ මහා වටිනා ගස රකින්නට නීති රීති සම්පාදනය කලා. එදා අපිට වඩා මේ මී ගහ ගැන ගැමියාට ගොවියාට මහා දැණුමක් තිබුනා. මී ගහේ මල අද අපි පාවිච්චි කරන මුද්දරස්පලම් වලට ආදේශකය විදියට පාවිච්චි කලා. මේ මී මල් හැලප වලට දැම්මා, එය පුංචි ඈයන්ගේ ඉතා රසවත් ආහාරයක් වුනා.
මී ගහ පොහොර ගස වුනේ කොහොමද..? ඒක සිද්ද වෙන්නේ මා වවුලට පිං සිද්ද වෙන්නයි. වවුලාගේ ප්‍රියතම ආහාරයක් තමයි අමු මී ගෙඩි. වවුලා මී ගස් හොයාගෙන ඇවිත් මී ගෙඩි කනවා. ඒ අතරේ වවුලා වසුරු දානවා (වවුල් බෙටි) මේ වවුල් වසුරු එකතු වුනේ වැවට, කුඹුරට... මේ වවුල් වසුරු වතුරේ දිය වෙලා කුඹුරට, පසට එකතු වුනා. මේ වවුල් වසුරු ඉතා ඉහල ගුණාත්මයක් ඇති කාබනික පොහොරක්.. යූරියා කිලෝ දෙක තුනක තිබෙන නයිට්‍රජන් ප්‍රමාණය වවුල් වසුරු ගිනි පෙට්ටි පියනක තිබෙන බව සොයාගෙන තියෙනවා. විෂ රසායනික නැති, බැර ලෝහ නැති සුපිරිම කාබනික පොහොරක් බව අපිට කලින් අපේ මුතුන් මිත්තෝ හොයාගෙන තියෙනවා.
ඊට අමතරව මී ගහට එන වවුලන් නිසා ගොවිතැනට හානි කර කෘමීන් බොහෝ ප්‍රමාණයක් පාලනය වුනා. මී මල් වල සුවඳට ආකර්ශනය වන මී මැස්සන් නිසා ගොයම් මැස්සන් අැතුලු පලිබෝධ පාලනයක්ද සිද්ද වුනා.
ඒ අතරේ වියලි මී ඇට තලා තෙල් හිඳ සිංහල වෙදකමට අදටත් මී ඇට සහ මී මල් ලබා ගන්නවා.එමෙන්ම ගොයමට පොහොරක් ලෙස මී තෙල්හි අතුරු ඵලය වු රොඩ්ඩ භාවිතා කෙරුනා. පැරැන්නෝ මෙවැනි ප්‍රයෝජන රාශියක් අත්කරගත් මී ගසට විශේෂ ස්ථානයක් ලබා දී තිබුණා. නමුත් අද වනවිට මේ තත්ත්වය වෙනස් වෙලා. නූතන ගොවිතැන තුළ කෘමීන් මර්දනය සඳහා බහුලව රසායනික පොහොර සහ කෘමිනාශක යොදා ගන්නවා. නමුත් මෙහි අහිතකර ප්‍රතිඵලය වන්නේ මිනිසා රෝගියෙකු වීමයි. අද වන විට අධික වකුගඩු රෝගින් ප්‍රමාණයක්, පිළිකා රෝගීන් ප්‍රමාණයක් අපේ අයහපත් රසායනික භාවිතය නිසා රෝහල් වල ගොඩ ගැහිලා.
ඉතින් අපි මැරුණු මහ පොලොවට පණ දෙන්න ඕන නැද්ද..? මැරුණු වැවට පණ දෙන්න ඕන නැද්ද..? පිගානේ වස ටික නැති කරගන්න ඕන නැද්ද..? පුංචි උන්ට වස පොවන වස කවන අපරාධයෙන් නිදහස් වෙන්න ඕනේ නැද්ද..?
මේ මහා පොහොර ගහේ බලය දැනගත්තු සුද්දා එදා නියෝග කලා මේ සද්දන්ත මී ගස් සියල්ල කපලා වැව් අමුණු වල පාලං බෝක්කු වලට දාන්න.සුද්දා කීව දේ අදත් අපි හරියටම කලා. කඹුරු පුරන් වුනාම අපි සුද්දගේ වතු වල වැඩට ගියා.
අපි තවමත් පරක්කු නෑ..අපි අපේ හෙළ ගොවිතැනට නැවත පණ පොවමු. මේක දැනගන්න අපි අඩුම එක මී පැලයක්වත් කුඹුරු ආශ්‍රිතව පැල කරවමු. මිනිසුන් වෙනුවෙන් මනුසත් කම පැළ කරමු.
උපුටාගැනීමකි. කතෘ දැනට නොදනී.
ධර්මයේ හමුවන භාහිර ලෝකය හා තුන් ලෝකය
ReplyDeletehttps://www.lankaweb.com/news/items/2022/11/03/ධර්මයේ-හමුවන-භාහිර-ලෝකය-හ/