සිනේකා වීරක්‌කොඩි
මෙවර (2015) උසස් පෙළ ප්‍රතිඵලවලින්, දිස්‌ත්‍රික්‌ක අනුව සලකන කල, ඉදිරියෙන් ම සිටින්නේ උතුරු පළාතේ යාපනය දිස්‌ත්‍රික්‌කය ය. යාපනය දිස්‌ත්‍රික්‌කය 66.32%ක සාමර්ථ්‍ය ප්‍රතිශතයක් ඇති ව දිවයිනේ මුල් තැනට පැමිණෙද්දී එම පළාතෙහි ම මන්නාරම දිස්‌ත්‍රික්‌කය දෙවැනි තැනට පත් ව තිබෙයි. කිලිනොච්චි හා වව්නියාව යන දිස්‌ත්‍රික්‌ක පිළිවෙළින් පස්aවැනි හා අටවැනි ස්‌ථාන හිමි කරගනිද්දී සමස්‌ත උතුරු පළාත 65.23%ක සාමර්ථ්‍ය ප්‍රතිශතයක් සහිතව දිවයිනේ මුල්තැනට පත් ව තිබෙයි.
පළාත් මට්‌ටමින් ගත් කල දෙවැනි තැන සබරගමුවටත්, තෙවැනි තැන බස්‌නාහිරටත් හිමි ව තිබෙන අතර බස්‌නාහිර පළාතේ සමස්‌ත ප්‍රතිශතයට වැඩි ම දායකත්වයක් දක්‌වන කොළඹ දිස්‌ත්‍රික්‌කය තිබෙන්නේ දිස්‌ත්‍රික්‌ක අතරින් දසවැනි ස්‌ථානයේ ය.
සමස්‌ත ප්‍රතිඵල විශ්ලේෂණයේ දී පෙනී යන කරුණක් නම් බස්‌නාහිර පළාතේ දිස්‌ත්‍රික්‌කයන්ට සාපේක්‌ෂව උතුරු පළාතේ දිස්‌ත්‍රික්‌ක ඉදිරියෙන් ම ඇති බවයි. බස්‌නාහිර පළාතේ දිස්‌ත්‍රික්‌කයන්හි පාසල්වල ප්‍රතිඵල මේ අයුරින් පහළ බැසීමට මුල් වූ හේතු පිළිබඳව ප්‍රවීණ අධ්‍යාපනඥයකු වන ශ්‍රී ජයවර්ධනපුර විශ්aවවිද්‍යාලයයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ පිඨාධිපති මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා ගෙන් අපි අදහස් විමසීමක් කළෙමු.
උතුරු හා බස්‌නාහිර පළාත් අතර පහසුකම් අතින් විෂමතාවක් පවතී දැයි විමසූ විට මහාචාර්යවරයා සඳහන් කළේ භෞතිකමය පහසුකම් අතින් පළාත් දෙකෙහි ම විශාල විෂමතාවක් දක්‌නට නොමැති මුත් උතුරු පළාතේ යාපන අර්ධද්වීපය කේන්ද්‍ර කරගනිමින් ශිෂ්‍ය අනුපාතයට සාපේක්‌ෂව වැඩි ශිෂ්‍ය පිරිසකට ජාතික පාසල් අධ්‍යාපනය ලබන්නට ඉඩකඩ සැලසී තිබෙන බවයි. විදේශීයයන් මෙරට ආණ්‌ඩු කළ සමයේ ඔවුන් පහසුකම් අතින් පිරිපුන් පාසල් යාපනය, කිලිනොච්චිය ආදී දිස්‌ත්‍රික්‌ක කේන්ද්‍ර කරගනිමින් ඉදි කළ බවත් ඒවා අද වන විට රජය යටතේ ජාතික පාසල් ලෙස පවතින බවත් ඒ මහතා සඳහන් කරයි. එහි සැම ජාතික පාසලක ම පාහේ උසස් පෙළ විද්‍යා විෂයධාරාව පවතින හෙයින් අධ්‍යාපනික මට්‌ටම යම් තරමකට සෙසු පාසල්වලට සාපේක්‌ෂව එහි ඉහළ ය. මානව හා භෞතික සම්පත් අතින් ද එහි ජාතික පාසල් වඩාත් පොහොසත් ය. වැඩි සිසුන් පිරිසකට ජාතික පාසල්වල ඉගෙනගන්නට ලැබීම දිස්‌ත්‍රික්‌කයේ ප්‍රතිඵල ඉහළ යැම කෙරෙහි යම් බලපෑමක් ඇති කරන්නට තුඩු දිය හැකි බව මහාචාර්ය සුදන්ත ලියනගේ පවසයි.
ඊට අමතරව උතුරේ ශිෂ්‍ය ප්‍රජාවට දකුණේ ශිෂ්‍ය ප්‍රජාවට තරම් තවමත් විකල්ප අධ්‍යාපන අවස්‌ථා (පෞද්ගලික විශ්වවිද්‍යාල වැනි) සුලබ නො වන නිසා ඔවුන් රජයේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීම පිණිස දකුණේ පිරිසට වඩා වැඩි පරිශ්‍රමයක් දැරීම හා එයින් ධනාත්මක ප්‍රතිඵල නෙළාගැනීම අපේක්‌ෂා කළ හැකි තත්ත්වයක් බව ද මහාචාර්යවරයා පෙන්වා දෙයි.
දකුණේ වෙසෙන දරුවන් අන්තර්ජාල, ජංගම දුරකථන ආදිය හරහා වඩාත් පහසු ක්‍රමවේදයකට ඉගෙනගැනීමට උත්සාහ දරන නමුත් සාම්ප්‍රදායික විභාග ක්‍රමවේදය තවමත් වෙනස් ව නැති හෙයින් පතපොත පරිශීලනයෙන් ලබන දැනුම ඉහළ විභාග සාමර්ථ්‍යයක් ලබන්නට අත්‍යවශ්‍ය බව මහාචාර්යවරයා වැඩිදුරටත් පවසයි. ප්‍රතිඵල විෂමතාවයන් කෙරෙහි යම් බලපෑමක් මෙමගින් ද ඇති වන්නට පිළිවන.
මීට පෙර අවස්‌ථාවල දී මේ ආකාරයෙන් උතුරු දකුණු ප්‍රතිඵල අතර විෂමතාවන් පැනනැඟීම හේතුවෙන් ජාතීන් අතර සංහිඳියාවට බලපෑම් එල්ල වී ඇති හෙයින් ඒ පිළිබඳ වත් අපි මහාචාර්යවරයා ගෙන් විමසීමක් කළෙමු. ඒ මහතා සඳහන් කළේ සැමට පිළිsගත හැකි ක්‍රමවේදයක් පිළිතුරු පත්‍ර සමීක්‌ෂණයේ දී භාවිත කළ හැකි නම් පක්‌ෂග්‍රාහීව උත්තර පත්‍ර බැලීම වැනි ගැටලු සහගත තත්ත්වයකන් ඇති නො වනු ඇති බව ය. දමිළ මාධ්‍යයේ පිළිතුරු පත්‍රවලින් සියයට දහයක් හා සිංහල මාධ්‍යයේ පිළිතුරු පත්‍රවලින් සියයට දහයක් ප්‍රතිවිරුද්ධ භාෂා මාධ්‍යයන්හි මහාචාර්යවරුන්, සහකාර පරීක්‌ෂකවරුන් හෝ පාලක පරීක්‌ෂකවරුන් ලවා දෙවැනි වර සමීක්‌ෂණයට බඳුන් කිරීම වැනි ප්‍රායෝගික ක්‍රමවේදයක් ඒ සඳහා යොදාගත හැකි බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.
තව ද කෙටි ප්‍රශ්න නැත හොත් බහුවරණ ප්‍රශ්න සඳහා පිළිතුරු ඇගයීම් කටයුතු වර්තමානයේ සිදු වන්නේ පිළිතුරු පත්‍ර ඇගැයීම් මධ්‍යස්‌ථානයන්හි පරීක්‌ෂණ මණ්‌ඩල හරහා ය. එම ක්‍රවේදයෙන් බැහැර ව විශේෂ ඒකකයක් විභාග දෙපාර්තමේන්තුවේ පිහිටුවා විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් ගේ අධීක්‌ෂණය යටතේ එක ම නිරීක්‌ෂණ මණ්‌ඩලයක් ලවා පිළිතුරු පත් පරීක්‌ෂා කරවිය හැකි නම් පිළිතුරු පත්‍ර ඇගැයීමේ දී සිදු විය හැකි යෑයි කියන අක්‍රමිකතා තවදුරටත් අවම කරගත හැකි බව ද මහාචාර්යවරයා පවසයි.
දැනට මෙවන් ක්‍රමවේදයක් ක්‍රියාත්මක නො වේ.
http://www.divaina.com/
Comments
Post a Comment