Skip to main content

සිරිපා සිරිත

siripa443නව වසරේ වාර්ෂික ශ්‍රී පාද වන්දනා සමය අද (27) දිනට යෙදෙන උඳුවප් පුර පසළොස්වක ‍පොහෝ දිනයෙන් ආරම්භ වෙයි. වාර්ෂික ශ්‍රීපාද වන්දනා සමය ආරම්භ කිරීම සඳහා වන මූලික ආගමික වතාවත් හා චාරිත්‍ර වාරිත්‍ර සිදුවන්නේ පැල්මඩුල්ල ගල්‍පොත්වෙල  ශ්‍රී පාද රජ මහා විහාරස්ථානයේදීය. එයට හේතුව ශ්‍රී පාදස්ථාන උඩමළුවේ තැන්පත් කර තිබෙන සධාතුක කරඬුව ඓතිහාසික සුමන සමන් දේව ප්‍රතිමාව ඇතුළු ජූජා වස්තූන් ශ්‍රී පාද අවාර සමයේදී තැන්පත් කර තිබෙන්නේ පෙර සඳහන් ගල්‍පොත්වෙල ශ්‍රී පාද රජමහා විහාරස්ථානයේ වීමය. මෙම විහාරස්ථානය කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් ඉදිකොට ශ්‍රී පාදස්ථානයට පූජා කර තිබේ.
ශ්‍රී පාදස්ථානාධිපති නාහිමියන්ගේ නිල නිවස හෙවත් නිල ආරාමය වන්නේද මෙම ගල්‍පොත්තාවෙල විහාරස්ථානයයි. වාර්ෂික ශ්‍රී පාද වන්දනා සමය ඇරඹෙන්නේ උඳුවප් පුන් ‍පොහෝ දිනයෙන් වුවද ඒ හා බැඳුණු මූලික චාරිත්‍ර වාරිත්‍ර සිදුවන්නේ ඊට දින දෙකකට පමණ පෙරදීය. ශ්‍රී පාදස්ථානාධිපති නාහිමියන් ප්‍රධාන උඩමළුවේ තේවා භාර හිමිවරුන්ද, සමන් දේවාල කපු මහත්වරුන් හා ශ්‍රී පාද කාර්යය මණ්ඩලයද මේ චාරිත්‍රවලට සම්බන්ධ වේ. මෙම චාරිත්‍ර වාරිත්‍ර බුද්ධ පූජා හා දේව පූජා වශයෙන් කොටස් දෙකකින් සිදුවන අතර එහිදීද බුද්ධ පූජාවන්ට මුල් තැනක් හිමිවේ. එයට විශේෂ වූ හේතුවක් ඇත. සමන්ගිරට අධිපති සුමන සමන් දෙවිඳුන් සෝවාන් ඵල ලාභී බෞද්ධ මහෝපාසකයෙකු වන නිසා ගල්‍පොත්තාවෙලදී පමණක් නොව ශ්‍රී පාද උඩමළුවේදීද දේව පූජාවලට ප්‍රථමයෙන් බුද්ධ පූජා හා ආගමික වතාවත් සිදුකෙරේ. ශ්‍රී පාද වන්දනා සමය ආරම්භක චාරිත්‍ර වාරිත්‍ර මුලින්ම සිදුවන්නේ තුන්තිස් පැයේ පරිත්‍රාණ ධර්මදේශනාවයි. උඳුවප් පුන් ‍පොහෝ දිනට දින දෙකකට පෙරදී මෙම පරිත්‍රාණ ධර්ම දේශනාව ශ්‍රී පාද රජමහා විහාරස්ථානයේදී ආරම්භ වේ. එම විහාරස්ථානයේ සමන් දේවාලය තුළ විශේෂ කුටියක තැන්පත් කර තිබෙන සුමන සමන් දෙවියන්ගේ ඓතිහාසික සඳුන් මුවා ප්‍රතිමාව ඇතුළු දේවාභාරණ සුබ මොහොතින් පිටතට වැඩම වන්නේ මහා සංඝ රත්නයේ සෙත් පිරිත් දේශනා හා මඟුල් බෙර වාදන මධ්‍යයේය. ඉන්පසු විශේෂ දේවපූජා හා වතාවත් සිදුවන අතර ඒ කටයුතුවලදී ප්‍රමුඛත්වය ගන්නේ ශ්‍රී පාද නාහිමි සහ උඩමළුවේ ප්‍රධාන කපුමහත්මාය. ඉන්පසු පුරා රැයක් පහන් වන තුරු බැතිමතුන් ලක්ෂ ගණනින් පැමිණ සුමන සමන් දෙවියන් උදෙසා භාර හාර ඔප්පු කරමින් පුද පූජා පවත්වනු ලැබේ. පසුදාට පහන් වෙද්දී එළැඹෙන සුබ නැකතින් දේවාභාරණ සහිත පූජා භාණ්ඩ අලංකාර රථ දෙකක තැන්පත් කරනු ලැබේ. ඉන්පසු ගමන් ඇරඹෙන රථ පෙරහැර පැල්මඩුල්ල, ලෙල්ලුපිටිය ඔස්සේ සබරගමු මහ සමන් දේවාලය වෙත ළඟා වේ. සමන් දේවාලයේදී ද විශේෂ චාරිත්‍ර වාරිත්‍ර රැසක් සිදුවන අතර පෙරහරේ ගමන් ගන්නා මහා සංඝරත්නය වෙත හීල් දානය පිරිනැමීම ද එහිදී සිදුවන චාරිත්‍රයකි. මේ සියලු චාරිත්‍ර වාරිත්‍රවලින් පසු නැවතත් රත්නපුර මහ සමන් දේවාලයෙන් දේවාභරණ සහිත රථ පෙරහර ගමන් අරඹයි. ඒ පෙරහර දෙකක් වශයෙනි. ඉන් එක් පෙරහරක් රත්නපුර මල්වල මාර්ගය ඔස්සේ ශ්‍රී පාද උඩමළුව කරා ගමන් අරඹන අතර අනෙක් පෙරහර අවිස්සාවේල්ල, කිතුල්ගල හැටන්, නල්ලතන්නිය මාර්ගය ඔස්සේ ශ්‍රී පාදස්ථානය කරා ගමන් අරභයි. මේ රථ පෙරහර දෙකම නල්ලතන්නියෙන් හා පලාබද්දලින් නතර වන අතර එතැන් පටන් දේවාභරණ වැඩම කරවන්නේ පා ගමනනි. මෙසේ මාර්ග දෙකකින් ගමන් ගන්නා පෙරහර දෙකම ශ්‍රී පාද උඩමළුව කරා ගමන් ගත් පසු උඳුවප් පුන් ‍පොහොය උදාවෙමින් තිබියදිය. ‍පොහෝ දිනය උදාවන හිමිදිරි පාන්දර ශ්‍රී පාද පද්මය සුවඳ පැනින් දෝවනය කර පෙරහරින් වැඩමවූ පූජා වස්තුන් උඩමළුවේ තැන්පත් කරන්නේද සුබ හෝරාවකටය. ඉන්පසු බුද්ධ පූජාව හා දේව පූජාවෙන් පසු බැතිමතුන්ට නව වසරේ ශ්‍රී පාද වන්දනාව සිදු කිරීම සඳහා අවස්ථාව සැලසේ. මෙසේ ආරම්භ වන ශ්‍රී පාද වන්දනාව එළැඹෙන වසරේ වෙසක් පුන් ‍පොහෝ දිනය දක්වා අඛණ්ඩව මාස 06ක කාලයක් තිස්සේ පවතී. සිරිපා වන්දනා සමය ලෝකයේ පවතින දීර්ඝතම වන්දනා සමයක් ලෙසින් හැඳින්වෙන්නේද එබැවිනි.
ශ්‍රී පාද වන්දනාවේ අතීතය දෙස බලන විට පෙර සිරිලක රජකළ රජවරු ඇතුළු සම්භාවනීය පුද්ගලයන්ද මේ අසිරිමත් වන්දනාවට එක්වූ බවට ඉතිහාසගත තොරතුරු පෙන්වා දෙයි. නිශ්ශංකමල්ල මහ රජතුමා ශ්‍රී පාද වන්දනාවේ පැමිණ ශ්‍රී පාදස්ථානයට ගම්වර රැසක් පූජා කර ඇති අතර ඒ බව භගවාලෙන තුළ ඇති සෙල්ලිපි දෙකකින්ද තහවුරු වේ. ඊට අමතරව ‍පොළොන්නරු යුගයේ මෙරට රජකම් කළ මහා විජයබාහු රජතුමාද ශ්‍රී පාද වන්දනාවේ ගිය බව අඹගමු සෙල්ලිපියෙන් පෙන්වා දෙයි. එසේම මහා පරාක්‍රමබාහු රජතුමා ද දෙවැනි පරාක්‍රමබාහු රජතුමාද තම රාජ්‍ය පාලන කාලය තුළදී ශ්‍රී පාද වන්දනාවේ ගිය බව ඉතිහාස ගත තොරතුරු පෙන්වා දෙයි. මෙයට අමතරව ශ්‍රී පාද කඳු මුදුන තරණය කළ විදේශීය ජාතික ප්‍රභූවරුන් පිළිබඳවද ඓතිහාසික තොරතුරුද අදටත් විදේශීය කෞතුකාගාර හා ‍ලේඛනාගාරවල සුරක්ෂිතව පවතී. මාර්කෝ ‍පොලෝ, ඉබන් බතුතා, දේවගැති ඔඩොරික් පියතුමා, පෘතුගීසි ජාතික ජේ.රිබෙයිරිරෝ වැනි දේවගැතිවරුන්ද සමන්ගිර තරණය කර ඇත්තේ මෙයට වසර සිය ගණනකට පෙරදිය. ඉංග්‍රීසි ජාතික ජෝන් ඩේව් සිරිපා වන්දනාවේ ගොස් ඇත්තේ දෝලාවකිනි. එසේම හෙන්රි මාර්ෂල් නමැති ඉංග්‍රීසි ජාතික වෛද්‍යවරයා තම සිරිපා චාරිකාව පිළිබඳ රසවත් තොරතුරු රැසක් ‍ලේඛන ගත කර තිබේ. රත්නපුරයේ ඒජන්ත පදවිය දැරූ හර්බට් වේස්, ආර්.එන්.කේන්, බි.හේලින්ස්, ජී.කුක්සන්, එන්.ජේ.ලඩින්ටන්, එච්.එස්.බි.රසල් වැනි විදේශිකයින්ද තම පාලන කාලය තුළ එක්වරක් හෝ කිහිපවරක් ශ්‍රී පාදස්ථානයට ගොස් තිබේ. එයින් නොනැවතුනු ඔවුන් එම අසිරිමත් ගමන පිළිබඳව දින සටහන්ද යොදා තිබේ. එම දින සටහන් මගින් සිරිපා වන්දනාවේ අතීත පසුබිම අපහට මොනවට පසක් කර දෙන්නේය. මේ අතර ඉතිහාසයේ තවත් වැදගත් සිදුවීමක් වන්නේ ශ්‍රී පාදස්ථානයට විදුලි ආලෝකය ලබාදීමයි. සුමන සමන් දෙවියන්ට වූ බාරයක් ඔප්පු කිරීම සඳහා නෝර්ටන් බ්‍රිජ් ජලාශය ඉදිකොට වර්ෂ 1950 මාර්තු 04 වෙනි දිනට යෙදුණු මැදින් ‍පොහෝදින ශ්‍රී පාදස්ථානයට විදුලි ආලෝකය ලබාදී ඇති අතර ඒ සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වී ඇත්තේ ජෝන් කොතලාවල ශ්‍රීමතාණන්ය. ශ්‍රී පාදස්ථානය සහිත සමනළ අඩවියද බලවත් හාස්කම් හා අද්භූත සිදුවීම්වලින් පිරී පවතින බව ජනතාව අතර කවදත් දැඩි විශ්වාසයක් පවතී. ශ්‍රී පාද අවාර සමයේදී සබරගමුවට අධිගෘහිත සුමන සමන් දෙවිඳුන් තම වාහනය වූ සුදු ඇතා සමගින් පැමිණ ශ්‍රී පාද පද්මය වැද පුදාගන්නා බවට ජනතාව විශ්වාස කරති. එසේම වසර ගණනාවක් සමන් ගිර විසූ ශිව භක්තික ආ¾ඩිගුරුන් පිළිබඳවද ගජමන් නෝනා, ලිණි අක්කා, සුළුගුළු උපාසක තැන ආදී චරිත පිළිබඳවද සමනළ අඩිය හා බැඳුණු රසවත් හා අපූරු සිද්ධීන් බොහෝය. ශ්‍රී පාදස්ථානය සහිත කඳු මුදුන අතීතයේ සිටම සූර්යය වන්දනාවට ජනතාව විසින් යොදා ගත් ස්ථානයකි. බුදුන් වහන්සේගේ වම් සිරිපා පද්මය පිහිටුවීමත් සමගම සමනළ අඩවියට පූජනීයත්වයක් ලැබුණද පෙර පුරුද්දට බැතිමතුන් අදටත් ඉර සේවය දැක ගැනීමට දක්වන්නේ මහත් උනන්දුවකි. රට ස්වයං ‍පෝෂණය කරන ප්‍රධාන ගංගා සතර මහවැලි, කැලණි, කළු, වලවේ ගංගාවන් සමනළ අඩවියෙන් ආරම්භ වීම නිසාද කෘෂිකාර්මික දිවි පවෛතක් ගත කළ අපේ පැරැන්නන් සමනළ අඩවියට ගෞරව කළහ. සමන්ගිර මුදුනේ පිහිටි සමන් දේවාලයට අමතරව කැලණි ගඟ අසබඩ දැරණියගල සමන් දේවාලයත්, වලවේ ගඟ අසබඩ බොල්තුඹේ දේවාලයත්, කළු ගඟ අසබඩ රත්නපුර සමන් දේවාලයත්, මහවැලි ගඟ අසබඩ මහියංගන සමන් දේවාලයත් ඉදිකර ඔවුන් පුද පූජා පැවැත්වූයේ එබැවින් බව ඉතිහාසඥයින් පෙන්වා දෙයි. අතීතයේ ශ්‍රී පාදස්ථානාධිපති පදවියද හඳුන්වා දී ඇත්තේද සමනළගල විහාරාධිපති පදවිය යනුවෙනි. එදා මෙදා තුර ශ්‍රී පාදස්ථානාධිපති පදවිය හෙඹවූ නාහිමිවරුන්ගේ සංඛ්‍යාව 20කි. වර්තමානයේ ශ්‍රී පාදස්ථානාධිපති පදවිය හොඹවන්නේ පැල්මඩුල්ල රජමහා විහාරාධිපති ධර්මකීර්ති ශ්‍රී සුමංගල බෙංගමුවේ ධම්මදින්න නාහිමිපාණන් වහන්සේය. අදින් ඇරඹෙන වාර්ෂික ශ්‍රී පාද වන්දනා සමය පිළිබඳව උන්වහන්සේ දක්වන අදහස් මෙසේය. නව වසරේ වාර්ෂික ශ්‍රී පාද වන්දනා සමය (2012/2013) උඳුවප් පුන් ‍පොහෝ දිනෙන් ආරම්භ වෙනවා. වෙනත් වන්දනා වාරවලට වඩා මෙවර වන්දනා වාරයේදී දෙස් විදෙස් බැතිමතුන් විශාල පිරිසක් සිරිපා වන්දනාවට එක්වෙයි කියා බලා‍පොරොත්තු වෙනවා. තිස්වරසක යුද්ධය නිමාවී රටතුළ පවතින සාමකාමී වාතාවරණය එයට ප්‍රධාන හේතුවයි. යාපනය, අම්පාර වගේ පළාත්වල ජනතාවත් මේ වන්දනාවට එකතු වෙනවා. වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ට අවශ්‍ය සෞඛ්‍ය, සනීපාරක්ෂක පහසුකම් සපයා තිබෙනවා. ඒ වගේම සිරිපා වන්දනාවේ පැමිණෙන විට පරිසරයට අහිතකර දේ රැගෙන ඒමෙන් වළකින ලෙස ඉල්ලා සිටිනවා. පුදබිමේ ගෞරවයත් පරිසර සුන්දරත්වයත් ආරක්ෂා වන පරිදි සිරිපා වන්දනාව කළ යුතු බවයි ඉල්ලා සිටින්නේ. ඈත අතීතයේ පටන් අපේ මුතුන් මිත්තන් සමනළ කන්ද තරණය කළේත් ශ්‍රී පාද පද්මය වන්දනා කළේත් පූජනීයත්වය මෙන්ම පාරිසරික සුන්දරත්වය උපරිමයෙන්ම ආරක්ෂා කර ගනිමිනි. වර්තමානයේ ජීවත්වන අපහට මේ වටිනා දායාදය ඉතිරි වී ඇත්තේ එබැවිනි. අපේ මතු පරපුරටද සමනළ අඩවිය හා පූජනීය ශ්‍රී පාදස්ථානය සුරක්ෂිත කර දීම අපහට පැවැරී ඇති වගකීමක් සේම යුතුකමද වන්නේය.

බුද්ධික රත්නකුමාර -
උපුටා ගැනීම ලක්බිම් පත්‍රයෙනි

Comments

Popular posts from this blog

ගමක අසිරිය

වෛද් ‍ ය   රුවන්   එම්   ජයතුංග   අම්ම හදා දුන්න කහට එක නොබීම මම වත්ත පහලට ගියේ දවල්ට කන්න හොඳ කොස් ගෙඩියක් ගේන අදහසින්. නැත්තම් දවල් වෙන කොට කොල්ලෝ කුරුට්ටෝ පැහිලා තියන ගෙඩි ටික කඩාගෙන යනවා. අපට අයිති අක්කර බාගේ වට කරලා වැටක් ගහලා නැති නිසා ඕනම කෙනෙක් වත්තට පනිනවා.     ඒත් අපරාදේ කියන්න බැහැ පොල් ගෙඩි වලට නම් කවුරුවත් අත තියන්නේ නැහැ. ඒක ලොකු දෙයක්. මාස තුනකට සැරයක් හරි අතට තුට්ටු දෙකක් ලැබුනේ පොල් ටික කඩේ මුදලාලිට දීලා. සමහරු මගෙන් අහනවා ඇයි රස්සාවක් කරන්නේ නැත්තේ කියලා ,  රස්සාවක් කරන්න රස්සාවක් ලැබෙන්න එපැයි. මම රස්සා හොයා හොයා එහෙ මෙහෙ දිව්වා. නමුත් හම්බුවෙච්ච රස්සාවක් නැහැ. උපාධිය කරලා සම්මුඛ පරීක්ෂණ වලට බඩගාපු කලේ මම හිටියේ හරිම පීඩනයක. ඔළුවට නිවනක් නැහැ. රස්සා හොයලා හොයලා හති වැටුනම මට තේරුණා රස්සාවක් ලැබෙන්න මන්තීතුමාගේ පස්සේ ගිහිල්ල තියෙන්න ඕන කියලා. මට ඒ දවස්වල ඕවට වෙලාව තිබ්බේ නැහැ . උපාධියට පාඩම් කර කර හිටියා.     මාත් එක්ක එකට සාමාන්‍ය පෙළ කරපු සොකරියා දැන් සමුර්ධි නියාමක. සොකරියාගේ නම බස්නායක ඒත් පරම්පරාවෙන් පරම්පරාවට ...

අපාය - විවිධ අපායන් හා ඒ ඒ අපායට යාමට හේතු

නරකය නරකය කියල කියන්නේ අපි සාමාණ්‍ය ව්‍යවහාරයේ නරකාදිය කියල කියන එකටයි. නරකාදි කියන සිංහල වචනය නරකය+ආදි යන්නේ අපර අක්ෂර ලොප් වි හැදුන වදනක්. මෙයින් හැගවෙන්නේ නරකය ආදි අනිත් අපාය ලෝක කියන එකයි. මෙ නරකයත් කොටස් වලින් යුක්තයි. 01)  සඤ්ජිවය යමපල්ලන් විසින් එහි උපන් සත්ත්වයින් ගිනියමි වු පොළවෙහි පෙරලා කැලි කැලි කොට කපද්දිත් ඒ සත්ත්වයින් නැවත නැවත ජිවත් වන බැවින් මෙ නරකය සඤ්ජිව නම් වෙ.  අධික ක්‍රෝධයෙන් හා මානයෙන් අන්අය හා කලකෝලහල කල අයද, දුබලයන් පෙළු රජවරු නිලධාරි හා අමාත්‍යයෝද, දිලින්දන් පෙළු පොසතුන්ද, මැරයෝද, සතුන් මරන්නෝද මෙ නරකයේ උපදියි. 02) කාලසුත්‍රය උපන් සත්ත්වයින් ගිනියම් වු යපොලවෙහි පෙරලා දැලි නුල් ගසා සසින්නාවු (කියතින් ඉරන්නාවු) නරකය මෙයයි. මාපියන්ට හා මිතුරන්ටද, ගුණවත් මහණ බමුණු ආදින්ටත් අපරාධ කල අය මේ නරකයේ පැසෙයි. 03) සන්ඝාතය මෙම නරකයේ සත්ත්වයෝ යොදුන් නවයක් ඝන ලෝහමය පොළවේ එරි නිස්චලව සිටිති. එහි භයානක හඩක් නංවමින් එහි එරි සිටින සත්ත්වයින් අඹරමින් පර්වතයෝ ඒ මෙ අත පෙරලි යති. ඒවාට යටවි සත්ත්වයෝ තැලි පොඩිවි ඇඹරි යති. ඇත් අස්, ගව ආදි සත්ත්වයිට වද දෙමින් වැඩ ගත් පුද්ගල...

ගම්මඩුව ශාන්තිකර්මය

සෞභාග්‍ය, සශ්‍රීකත්වය, වැස්ස අරභයා මෙන්ම බෝවන රෝග පැතිරයාම වැළැක්වීමට සිංහල ගැමියෝ ගම්මඩුව ශාන්තිකර්මය පවත්වති.විවිධ පළාත්වල දෙවොල් මඩුව, පුණාමඩුව, පහන්මඩුව, ගී මඩුව කිරිමඩුව හා හෑල්ලූම්මඩුව වශයෙන් සුළු වෙනස්කම් සහිතව සතරවරම් දෙවියන් මුල්කරගනිමින් මහා සාම්ප‍්‍රදායික හා චූල සාම්ප‍්‍රදායික ගණයට අයත් දෙවියන් උදෙසා කරන ශාන්ති කර්මය ගම්මඩුවයි. අස්වැන්න සරුවුවහොත් දෙවියන් පිදීමටත් වැස්සෙන් හෝ නියඟයෙන් හානිවූ කළ දෙවියන්ට කන්නලව් කිරීමටත් ගම්මඩු නැටීම සිරිතකි. එසේම සිංහල වෛද්‍ය ක‍්‍රමයටත් ගම්මඩුව බෙහෙවින් සමීපවෙයි. ගිනිමැලේ පෑගීම, බාහිර වටපිටාවේ නියඟ විපර්යාස මෙන්ම මිනිස් සිරුරේ හටගන්නා ගිනියම් ලෙඩ රෝග, අධික තාපය දුරුකිරීමේ මෙහෙයක් හැටියටත් යොදා ගැනෙයි. කිරි ඉතිරැවිම, ගිනියම් පොළොව සිසිල්වී පලදාව වැඩි කැර සෞභාග්‍යය ළඟා කැර ගැනීම ගම්මඩුවෙන් සංකේතවත් කරයි. ගැමියා තම ගොවිතැනින් ලබන අස්වැන්න පරිභෝජනයට පෙර කොටසක් දෙවියන්ට පූජා කරයි. එය අඩුක්කුව/අක්යාල නම් වෙයි. ගම් ආශි‍්‍රතව දෙවියන් වෙනුවෙන් පුද පූජා පවත්වන දේවාලවලදී වාර්ෂිකව දෙවොල් මඩු යාගය පවත්වයිි. අඩුක්කුවවෙන් දේව දානය දි දේවාශිර්වාද පැතීම...