Skip to main content

පෘතුගීසින් පැරදවු බලන මහා සටන
2011 නොවැම්බර් මස 06 11:32:26 | ලංකාදීප කර්තෘ මණ්ඩලය
කන්ද උඩරට රාජධානිය ආක‍්‍රමණය කිරීමට පැමිණි පරදේසක්කාර සතුරන්ට කදිම පාඩම් කියාදුන් ස්ථානයක් වශයෙන් බලන බළ කොටුව හැඳින්විය හැකිය.
කන්ද උඩරටට ඇතුළුවන ප‍්‍රධාන කපොල්ල වශයෙන් හැඳින්විය හැකි මෙම ස්ථානය පසුකරමින් පර සතුරන් ගමන් ගත්තේ අවස්ථා කිහිපයකදී පමණි.
මෙහිදී සිදුවූ සටන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගරිල්ලා සටන් වශයෙන් හැඳින් විය හැකිය. අපගේ වීරෝදාර උඩරට සිංහල හමුදා අපගේ දේශයේ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කර ගැනීම සඳහා එහිදී ජීවිත පරිත්‍යාගයෙන් සටන් වදින ආකාරය එහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුය.
එහිදී අපගේ වීරෝදාර සොල්දාදුවන් සටන් භූමියේ ඇති පිහිටීම උපයෝගී කර ගනිමින් ගස් හා ගල් පෙරළමින් ප‍්‍රතිවාදී ආක‍්‍රමිණිකයන් මෙල්ල කළ අයුරු බලන සටන්වල දී දැක ගත හැකිය. බලන දුර්ගය ආක‍්‍රමණය කිරීම සඳහා පැමිණෙන ප‍්‍රතිවාදී පරසතුරු හමුදාවන්ට එරෙහිව දැවැන්ත ගල් පෙරළා ගෙනවිත්, ආධාරක මතින් රඳවා තබාගෙන සතුරා ළඟා වූ වහාම ආධාරකය ඉවත් කිරීම මගින් සතුරා විනාශ කරයි.
සතුරා පැමිණෙන මාර්ගයේ ඇති දැවැන්ත ගස් කිහිපයක් අඩක් මුලින් කපා තබා කඹ මාර්ගයෙන් ඒ සියලූ ගස් එකිනෙකට සම්බන්ධ කොට තබා සතුරා කඳු නැග ඉහළට පැමිණීමත් සමග පහළට ගස් පෙරළීම මගින් එයට ඇඳා ඇති ඉහළ ගස් සියල්ලම පෙරළීමෙන් සතුරා විනාශ කිරීම වැනි එදා උඩරට සටනට ආවේනික ගරිල්ලා ආකාරයේ සටන් ක‍්‍රම එම අවදියේ භාවිත කෙරුණි. කන්ද උඩරට සටන්කාමීන් අතර එවන්වූ සටන්කාමීත්වයක් තිබියදී අප දේශය ආක‍්‍රමණය කළ කෲරතර ආක‍්‍රමිකයකු වශයෙන් සැලකෙන ජෙනරාල් ජෙර්නිමෝ ද අසවේදු විසිපන්දහසක සොල්දාදුවන් පිරිසක් සමගින් උඩරට ආක‍්‍රමණය කිරීමට පැමිණ්ය.
ගන්නෝරුව සටනේ දී මියගිය කපිතාන් ජෙනරාල් සුසාගෙන් පසු පෘතුගීසි හමුදා මෙහෙයවීම සඳහා එවන ලද ජෙනරාල් අසවේදු ඉතිහාස ගත වන්නේ ඉතාමත් කෲරතර ආක‍්‍රමණිකයකු වශයෙනි. ඔහු අපගේ කුඩා දරුවන් උඩ දමා කඩුව ඇල්ලීමට තරම් කෲර මානසිකත්වයකින් පෙළුන පුද්ගලයකු බව ඉතිහාසයේ සඳහන් වේ.
එක්දහස් හයසිය දෙක වසරේ දී ජෙනරාල් ජෙරනිමෝද අසවේදු පෘතුගීසි සේනා හා ලස්කිරිඤ්ඤ සේනාභටයන් විසි පන්දහසක්ද සමගින් උඩරට බලා ආක‍්‍රමණශීලී ගමනක් පිටත්විය. ලස්කිරිඤ්ඤ සේනාවේ නායකත්වය දෙන ලද්දේ සීමන් පිංඤ්ඤො හා සමරකෝන් රාල විසිනි. සියලූම ඒකාබද්ධ සේනාවේ නායකත්වය දරන ලද්දේ කපිතාන් ජෙනරාල් දොන් ජෙරනිමෝද අස්වේදු විසිනි. ඉදිරියේ දී තමන් හමුවට එන  ඕනෑම ප‍්‍රතිප‍්‍රහාරයකට ඉතා සාර්ථකව මුහුණදීම ඔහුගේ අරමුණ විය.
මුහුදු මට්ටමේ සිට අඩි දෙදහසකටත් වඩා ඉහළ උසකින් සානුවක පිහිටි බලන කපොල්ල සතුරන් අතට පත්වුවහොත් ස්වභාව ධර්මය අනුව කන්ද උඩරට රාජධානිය රැකගැනීමේ වෙනත් ස්ථාන නොවීය. එබැවින් විමලධර්මසූරිය රජතුමා ගල්කුළු තුනක් මත බළකොටු තුනක් පිහිටුවා බලන ආරක්‍ෂක පවුරක් වශයෙන් නිර්මාණය කළේය. ස්වභාව ධර්මයෙන්ම ලද ඉදිරි ආරක්‍ෂක පවුරක් ද බලන කොටුවට අයත්ය.
බලනට ආසන්නයෙන්ම ස්වභාව ධර්මයෙන්ම නිර්මාණය වු අනෙක් බළකොටුව වූයේ අත්තාපිටියයි. මීට පෙර පෘතුගීසිහු මුල්වරට උඩරට ආක‍්‍රමණය කිරීම ආරම්භ කරන ලද්දේ අත්තාපිටියෙනි. (අට්ටාපිටිය ලෙසද ව්‍යවහාර වේ). එබැවින් විමලධර්මසූරිය රජතුමා බුද්දස්ගොඩ අලූත්නුවර හා ගනේතැන්න යනාදී ස්ථානවල අප බළකොටු පිහිටු වීය. කපිතාන් ජෙනරාල් දොන් ජෙරනිමෝ ද අසවේදු තම හමුදා ඉදිරියට මෙහෙයවමින් අත්තාපිටියේ දිනක් කඳවුරු ලෑවේය.
ඉන්පසු පෘතුගිිසි සේනා කන්ද උඩරටට පිිවිසීමේ දී පසු කළයුතු පළමු උප බළකොටුව වූ බුද්දස්ගොඩ බළකොටුවට පහරදීම ආරම්භ කළේය.
තම සේනා පිළිබඳව මහත් උජාරුවෙන් සිටි අසවේදුගේ ඉලක්කය  වූයේ දින දෙකක් ඇතුළත එම බළකොටුව අත්පත් කර ගැනීමයි. එහෙත් සිංහල සේනා දින පහත් සටන් කරමින් පෘතුගිසී හමුදාවේ විශාල පිරිසක් ද ඝාතනය කොට ආරක්‍ෂක පියවරක් ලෙස පසු බැස්සහ. ඉන්පසු පෘතුගීසින්ගේ දෙවැනි ඉලක්කය වූයේ අලූත්නුවර බළකොටුවයි. අසවේදුගේ ඉලක්කය වූයේ එම බළකොටුව දින හතරක් ඇතුළත අල්ලා ගැනීමයි. එහෙත් අපගේ සිංහල හමුදා දින හතක් එම බළකොටුව රැුක ගත්තේ පෘතුගීසි හමුදාවේ තවත් පිරිසක්ද ඝාතනය කරමින් පෘතුගීසි හමුදා ශක්තිය තවදුරටත් අඩපණ කරමිනි.
බළකොටු දෙකකම බලය අත්පත් කරගත් අසවේදුගේ ඊළඟ ඉලක්කය වූයේ ගනේතැන්න බළකොටුවයි. එහිදී සිංහල විරෝදාර හමුදාව එම සටන සඳහා දුනු ඊතල මෙන්ම තුවක්කුද භාවිත කළහ. පෘතුගීසි හමුදාව ගනේතැන්න බළකොටුවට විවිධ යුද උපක‍්‍රම භාවිත කරමින් වරින්වර පහර දුන්නද සිංහල සේනාව අභීතව ප‍්‍රතිප‍්‍රහාර එල්ල කළෝය.
එහිදී අසවේදු නොසිතූ තරම් පෘතුගීසි භටයෝ පිරිසක් මිය ගියහ. ඉන් භීතියට පත් අසවේදු මුලූ ගනේතැන්න බළකොටුව වටකොට දින විසිඑකක් සටන් කොට එම බළකොටුව අත්පත් කර ගත්තේය. ගනේතැන්න බළකොටුව අල්ලා ගැනීමත් සමග විමලධර්මසූරිය රජතුමා පෘතුගීසින් ඉදිරියට පැමිණීම වැළැක්වීම සඳහා වෙනත් යුද උපායක් යෙදවීය.
පෘතුගීසින්ගේ උඩරට ආක‍්‍රමණය වැළැක්වීමට අවසානය තෙක් සටන් කිරීමට තීරණය කළ විමලධර්මසූරිය රජතුමා පෘතුගීසින්ගේ අවධානය වෙනතකට යොමු කරවීම සඳහා උඩරටට අයත් පහතරට දේශසීමාවේ පිහිටි ආසන්න පෘතුගීසි බළකොටුවලට පහරදීමට සැලැස්විය. එක්දහස් හයසිය තුනේ ජනවාරි මස 18 වැනි දින ලක්දිව ඉතිහාසයේ සුප‍්‍රකට බලන සටන ඇරඹිණි.
මේ අතර දඹදෙණියට හා හාරිස්පත්තුවට විශාල පෘතුගීසි හමුදා පිරිසක් පැමිණ ඇති බව සැලවීමත් සමග සේතුපාල බණ්ඩාර සෙනෙවියා මහනුවරින් සේනාංකයක් රැගෙන ගොස් පෘතුගීසින් විශාල පිරිසක් මරණයට පත් කෙළේය.
කපිතාන් ජෙනරාල් අසවේදු බලන සටන අරඹමින් තම සේනාව මෙහෙය වීය.
එහිදී පෘතුගීසි සේනා එකා පිට එකා වැටී මරුමූවට පත්වන්නට විය. තම සේනාව ඉතාම පහසුවෙන් සිංහල හමුදාවන්ට ගොදුරුවන බව දැනගත් අසවේදු තම යුද සැලසුම වෙනස් කොට බලන කොටුව සීමාවෙන් ඉවතට පසුබැස විශාල කාලතුවක්කු යොදා ගනිමින් බලන කොටුවට පහරදීමට දිවා රාති‍්‍ර උත්සහ කළේය.
එහෙත් කඳු හෙල් නිසා එම උත්සාහය අසාර්තක විය.
අවසානයේ අසවේදු ඇතුලූ පෘතුගීසි හමුදා මාරාන්තික සටනක නිරතවෙමින් තම සේනා බලන කඳු මුදුනට රැගෙන ගියේය. අසවේදු ඇතුළු පෘතුගීසී හමුදාව බලන කොටුව ආසන්නයට පැමිණීමත් සමග ඔවුන්ට එවකට තිබූ ප‍්‍රබලතම අවිය වූ බතරෝයි කාලතුවක්කු බැඳ කොටුවට පහර දෙන්නට විය.
බලන කොටුවේ සිට තම සේනාංක මෙහෙයවමින් සිටි විමලධර්මසූරිය රජතුමා වෙනත් විකල්පයක් නොමැති වූ බැවින් බලන කොටුවට ගිනි තබා තම සේනා සමගින් තාවකාලිකව පසු බැස්සේය.
මේ අතර බලන කොටුවට යන්නේ කෙසේ දැයි ජෙනරාල් අසවේදු විමසිල්ලෙන් සිටින විට පෘතුගීසින් අතර සිටි සිංහලයෝ බලන කොටුවට යන රහස් මාර්ගයක් පෙන්වාදීමට ඉදිරිපත් වූහ.
පෘතුගීසින් එම මාර්ගය ඔස්සේ බලන කොටුවට ඇතුළු විය.
එක්දහස් හයසිය තුනේ පෙබරවාරි මස 02 වැනි දින බලන කොටුවට පෘතුගීසීන් ඇතුලූ වනවිට එහි කිසිදු සිංහලයකු සිට නොමැත. එහෙත් මෙම බලකොටුව අල්ලා ගැනීම සඳහා පෘතුගීසීන්ට විශාල ජීවිත සංඛ්‍යාවකින් වන්දි ගෙවීමට සිදුවිය.
බලන කොටුව අල්ලා ගැනීම සඳහා ඔවුන් වසර නවයක කාලයක් සැලූසුම් කළ බැවින් ඔවුනට එදින විශේෂ දිනයක් විය.
එහෙත් නැවත වරක් සේනා සංවිධානය කරගත් විමලධර්මසූරිය රජතුමා බලන කොටුවට දිවා රාතී‍්‍ර පහර දෙන්නට විය. මෙම සටනේ අවසන් ප‍්‍රතිඵලය වූයේ රට ජාතිය ආගම වෙනුවෙන් දිවිහිමියෙන් සටන් කළ අපේ සිංහල භටයන්ගේ උත්තරීතර ධෛර්යයෙන් කටුගම්පොල අට්ටාපිටිය රක්ගහවත්ත යන ප‍්‍රදේශයද උඩරට සිංහල හමුදා සතුවීමයි.
මෙහිදී පෘතුගීසි හමුදාවේ විශාල පිරිසක් මරණයටපත් පත්වූහ. සිංහලයෝ පෘතුගිසීන්ගේ හිස් කඳින් වෙන්කොට ගස්වල එල්ලා ඔවුන්ගේ ජයග‍්‍රහණය සනිටුහන් කළහ. මේ අතර විමලධර්මසූරිය රජතුමා වෙනුවෙන් සටන් කළ කාන්ගරආරච්චි සෙනෙවියා විශාල සිංහල හමුදාවක් මීගමුවට රැගෙන ගොස් එහි බලකොටුවට දිවා රාති‍්‍ර පහර දී එම බළකොටුව අත්පත් කර ගත්තේය.
උඩරට ප‍්‍රතිප‍්‍රහාරවලට බියේ පලාගොස් කොළඹ කොටුවේ සිටි කපිතාන් ජෙනරාල් ජෙරනිමෝ ද අස්වේදු මෙම පුවත දැනගත් පසු මහත්සේ භීතියට පත්විය. බලන කොටුව යනු යටත්විජිතවාදී යුගයට පෙර අපගේ උඩරැුටියන්ගේ හදවත බඳු විය. එහෙත් මෙම ස්ථානය අද දකින බොහෝදෙනාට ඇතිවන්නේ දැඩි කම්පාවකි. පුරාණ කොටු පවුර අදවන විටද දක්නට ලැබුණද එහි ගල් ගලවාගෙන ගොසිනි.
එම බිම පුරාවිද්‍යා ස්මාරකයක් වශයෙන් ප‍්‍රකාශයට පත්කොට තිබුණද අද එහි  අපචාරයේ යෙදෙන්නන් බව එහි ගිය අපහට දක්නට ලැබුණි. බලන ගමේ බොහෝ දෙනා පැවසූවේ මෙම ස්ථානය සංරක්‍ෂණය කොට ආරක්‍ෂා කිරීමේ වැඩ පිළිවෙළක් රජය ආරම්භ කළ යුතු බවයි.
විශේෂ ස්තුතිය බණ්ඩාර ඇටිපොල මහතාට
ඡායාරූප හා සටහන - ෂේන් සෙනෙවිරත්න
බලන කොටුව අද වන විට කැලෑ වැදී ඇති අයුරු හා එහි කොටු පවුරේ කොටස්
බලන කොටුව අද වන විට කැලෑ වැදී ඇති අයුරු හා එහි කොටු පවුරේ කොටස්
බලන කොටුව අද වන විට කැලෑ වැදී ඇති අයුරු හා එහි කොටු පවුරේ කොටස්
සතුරන් එන්නේදැයි දුර සිට ඔත්තු බැලූ ඓතිහාසික බලන ගල

Comments

Popular posts from this blog

ගමක අසිරිය

වෛද් ‍ ය   රුවන්   එම්   ජයතුංග   අම්ම හදා දුන්න කහට එක නොබීම මම වත්ත පහලට ගියේ දවල්ට කන්න හොඳ කොස් ගෙඩියක් ගේන අදහසින්. නැත්තම් දවල් වෙන කොට කොල්ලෝ කුරුට්ටෝ පැහිලා තියන ගෙඩි ටික කඩාගෙන යනවා. අපට අයිති අක්කර බාගේ වට කරලා වැටක් ගහලා නැති නිසා ඕනම කෙනෙක් වත්තට පනිනවා.     ඒත් අපරාදේ කියන්න බැහැ පොල් ගෙඩි වලට නම් කවුරුවත් අත තියන්නේ නැහැ. ඒක ලොකු දෙයක්. මාස තුනකට සැරයක් හරි අතට තුට්ටු දෙකක් ලැබුනේ පොල් ටික කඩේ මුදලාලිට දීලා. සමහරු මගෙන් අහනවා ඇයි රස්සාවක් කරන්නේ නැත්තේ කියලා ,  රස්සාවක් කරන්න රස්සාවක් ලැබෙන්න එපැයි. මම රස්සා හොයා හොයා එහෙ මෙහෙ දිව්වා. නමුත් හම්බුවෙච්ච රස්සාවක් නැහැ. උපාධිය කරලා සම්මුඛ පරීක්ෂණ වලට බඩගාපු කලේ මම හිටියේ හරිම පීඩනයක. ඔළුවට නිවනක් නැහැ. රස්සා හොයලා හොයලා හති වැටුනම මට තේරුණා රස්සාවක් ලැබෙන්න මන්තීතුමාගේ පස්සේ ගිහිල්ල තියෙන්න ඕන කියලා. මට ඒ දවස්වල ඕවට වෙලාව තිබ්බේ නැහැ . උපාධියට පාඩම් කර කර හිටියා.     මාත් එක්ක එකට සාමාන්‍ය පෙළ කරපු සොකරියා දැන් සමුර්ධි නියාමක. සොකරියාගේ නම බස්නායක ඒත් පරම්පරාවෙන් පරම්පරාවට ...

අපාය - විවිධ අපායන් හා ඒ ඒ අපායට යාමට හේතු

නරකය නරකය කියල කියන්නේ අපි සාමාණ්‍ය ව්‍යවහාරයේ නරකාදිය කියල කියන එකටයි. නරකාදි කියන සිංහල වචනය නරකය+ආදි යන්නේ අපර අක්ෂර ලොප් වි හැදුන වදනක්. මෙයින් හැගවෙන්නේ නරකය ආදි අනිත් අපාය ලෝක කියන එකයි. මෙ නරකයත් කොටස් වලින් යුක්තයි. 01)  සඤ්ජිවය යමපල්ලන් විසින් එහි උපන් සත්ත්වයින් ගිනියමි වු පොළවෙහි පෙරලා කැලි කැලි කොට කපද්දිත් ඒ සත්ත්වයින් නැවත නැවත ජිවත් වන බැවින් මෙ නරකය සඤ්ජිව නම් වෙ.  අධික ක්‍රෝධයෙන් හා මානයෙන් අන්අය හා කලකෝලහල කල අයද, දුබලයන් පෙළු රජවරු නිලධාරි හා අමාත්‍යයෝද, දිලින්දන් පෙළු පොසතුන්ද, මැරයෝද, සතුන් මරන්නෝද මෙ නරකයේ උපදියි. 02) කාලසුත්‍රය උපන් සත්ත්වයින් ගිනියම් වු යපොලවෙහි පෙරලා දැලි නුල් ගසා සසින්නාවු (කියතින් ඉරන්නාවු) නරකය මෙයයි. මාපියන්ට හා මිතුරන්ටද, ගුණවත් මහණ බමුණු ආදින්ටත් අපරාධ කල අය මේ නරකයේ පැසෙයි. 03) සන්ඝාතය මෙම නරකයේ සත්ත්වයෝ යොදුන් නවයක් ඝන ලෝහමය පොළවේ එරි නිස්චලව සිටිති. එහි භයානක හඩක් නංවමින් එහි එරි සිටින සත්ත්වයින් අඹරමින් පර්වතයෝ ඒ මෙ අත පෙරලි යති. ඒවාට යටවි සත්ත්වයෝ තැලි පොඩිවි ඇඹරි යති. ඇත් අස්, ගව ආදි සත්ත්වයිට වද දෙමින් වැඩ ගත් පුද්ගල...

ගම්මඩුව ශාන්තිකර්මය

සෞභාග්‍ය, සශ්‍රීකත්වය, වැස්ස අරභයා මෙන්ම බෝවන රෝග පැතිරයාම වැළැක්වීමට සිංහල ගැමියෝ ගම්මඩුව ශාන්තිකර්මය පවත්වති.විවිධ පළාත්වල දෙවොල් මඩුව, පුණාමඩුව, පහන්මඩුව, ගී මඩුව කිරිමඩුව හා හෑල්ලූම්මඩුව වශයෙන් සුළු වෙනස්කම් සහිතව සතරවරම් දෙවියන් මුල්කරගනිමින් මහා සාම්ප‍්‍රදායික හා චූල සාම්ප‍්‍රදායික ගණයට අයත් දෙවියන් උදෙසා කරන ශාන්ති කර්මය ගම්මඩුවයි. අස්වැන්න සරුවුවහොත් දෙවියන් පිදීමටත් වැස්සෙන් හෝ නියඟයෙන් හානිවූ කළ දෙවියන්ට කන්නලව් කිරීමටත් ගම්මඩු නැටීම සිරිතකි. එසේම සිංහල වෛද්‍ය ක‍්‍රමයටත් ගම්මඩුව බෙහෙවින් සමීපවෙයි. ගිනිමැලේ පෑගීම, බාහිර වටපිටාවේ නියඟ විපර්යාස මෙන්ම මිනිස් සිරුරේ හටගන්නා ගිනියම් ලෙඩ රෝග, අධික තාපය දුරුකිරීමේ මෙහෙයක් හැටියටත් යොදා ගැනෙයි. කිරි ඉතිරැවිම, ගිනියම් පොළොව සිසිල්වී පලදාව වැඩි කැර සෞභාග්‍යය ළඟා කැර ගැනීම ගම්මඩුවෙන් සංකේතවත් කරයි. ගැමියා තම ගොවිතැනින් ලබන අස්වැන්න පරිභෝජනයට පෙර කොටසක් දෙවියන්ට පූජා කරයි. එය අඩුක්කුව/අක්යාල නම් වෙයි. ගම් ආශි‍්‍රතව දෙවියන් වෙනුවෙන් පුද පූජා පවත්වන දේවාලවලදී වාර්ෂිකව දෙවොල් මඩු යාගය පවත්වයිි. අඩුක්කුවවෙන් දේව දානය දි දේවාශිර්වාද පැතීම...