Skip to main content

ලංකාවේ උසම ගම්මානයේ උසම තැන සිට
2011 දෙසැම්බර් මස 04 11:16:04 | ලංකාදීප කර්තෘ මණ්ඩලය
නුවරඑළිය කී සැනින් අපගේ සිතට ගතට දැනෙනුයේ මිහිඳුම් සළුවෙන් වසාගත් හිරිගඩු මල් පූදින අධික ශීතලකි. ශ්‍රී ලංකාවේ උසම ගම්මානය පිහිටියේ මෙවැනි අතිශය සුන්දරවූ පුංචි එංගලන්තයේ හෙවත් නුවරඑළියේය. ගතේ මෙන්ම සිතේ පතුලටම කිඳා බැසගත් එකී ශීතල පරයමින් මම පසුගියදා ලංකාවේ උසම ගම්මානයේ උසම තැනට ගියෙමි.
ශ්‍රී ලංකාවේ උසම ගම්මානය ශාන්තිපුරයයි. නුවරඑළියේ සිට ශාන්තිපුරයට ඇත්තේ කිලෝමීටර් හතරක් වැනි දුරකි. නුවරඑළිය නගරයේ සිට මහනුවර මාර්ගයේ කෙටි දුරක් පැමිණි පසු වම් අත දෙසට අධික නැග්මක් සමග පිහිටි මාර්ගය වැටී ඇත්තේ ශාන්තිපුරය දක්වාය. මෙකී පිවිසුම් මග හඳුනාගැනීමට අසීරුව ඇති අතර කිසිදු නාම පුවරුවක් ඒ සඳහා සකසා නොමැතිකම දෙස් විදෙස් සංචාරකයන්ට මහත් අඩුවකි. ශාන්තිපුරය දක්වා වැටී ඇති මාර්ගයද ප‍්‍රතිසංස්කරණය නොකිරීම නිසා දැඩි ලෙස අබලන්ව පවතී.
ශාන්තිපුර ගම්මානය පිහිටියේ කිකිළියාමාන කඳු මුදුනතය. එම ගම්මානය ආරම්භ කොට ඇත්තේ 1962 වසරේදීය. එවකට නුවරඑළිය මහ නගර සභාවේ පුරපතිව සිටි විලියම් ප‍්‍රනාන්දු මහතා මෙම ගම්මානය ආරම්භ කිරීමට අපමණ වෙහෙසක් දරා තිබේ. විවිධ පුද්ගලයන් ගේ විවිධ වූ බලපෑම් හමුවේ මෙම ගම්මානය ඉදිකර ගැනීම සඳහා විලියම් ප‍්‍රනාන්දු මහතා මාරාන්තික උපවාසයක් පවා ක‍්‍රියාත්මක කොට තිබේ. ඔහුගේ ඒකී ඒකායන අධිෂ්ඨානය මල්ඵල දරමින් මෙසේ ශ්‍රී ලංකාවේ උසම ගම්මානය බිහිවී ඇත.
පුරපතිවරයාගේ එකී නිර්භීත වැඩපිළිවෙළ නිසා මධ්‍යම කඳුකරයේ ගම්මාන පිහිටුවීම සඳහා පනතක් පවා සම්මත කර ගැනීමට ඔහුට ශක්තිය ලැබී ඇත. ඒ අනුව ගොවිජන ව්‍යාපාරයක් ලෙස 1962 වසරේදී ශාන්තිපුර ගම්මානය ආරම්භ කොට ඇත. එවකට පැවැති නුවරඑළිය-මස්කෙළිය බහු ආසනය තුළ තවත් මෙවැනි ගම්මාන 18 ක් ආරම්භ කිරීමට විලියම් ප‍්‍රනාන්දු පුරපතිවරයාට හැකි වී තිබේ. තලවකැලේ ගුණානන්දපුර, හැටන් රුවන්පුර, ආගරපතන, කිත්සිරිමෙවන්පුර, පතන ජයසිරිපුර, බෝපත්තලාව වලගම්බාපුර ඊට තවත් නිදසුන් කීපයකි.ලංකාවේ උසම ගම්මානය මෙසේ ශාන්තිපුර ලෙස විලියම් ප‍්‍රනාන්දු පුරපතිවරයා විසින් නම් කොට ඇත්තේ තවත් එක් විශේෂ කාරණාවක් අරභයාය. ඒ මෙම පුරපතිවරයාගේ දේශපාලන ජීවිතේ නොමැකෙන සෙවණැල්ල සේ ළඟින් සිිටි තම ආදරණීය බිරිඳගේ නම මුල්කර ගෙනය. ඇයගේ නම ශාන්ති වූ අතර ශ්‍රී ලංකාවේ උසම ගම්මානය එම නිසා ශාන්තිපුර නම් විය.
මුහුදු මට්ටමේ සිට අඩි 7,342 ක් තරම් ඉහළින් පිහිටි මෙම ගම්මානය තුළ තවත් වාර්තා රැුසක් පිහිටා තිබේ. ශ්‍රී ලංකාවේ පිහිටි උසම බස් මගී ආවරණය, උසම පන්සල, උසම නිවස, උසම ප‍්‍රදේශයේ පිහිටි මහාමාර්ග, උසම ජලාශය ආදී බොහෝ උසම ස්ථාන ඇත්තේ මෙහිය.
ශාන්තිපුර ගම්මානය ඉදිකොට ඇත්තේ සුන්දර කිකිළියාමාන කන්ද මතය. කඳු මත ගම්මාන ඉදි කිරීම බොහෝ පාරිසරික ගැටලූවලට ඍජුව තුඩු දෙන සාධකයකි.
මෙම ගම්මානයට පහළින් පිහිටා ඇත්තේ දෙස් විදෙස් සංචාරකයන් වැල නොකැඞී යන එන නුවරඑළිය නගරයයි. ජල පෝෂක ප‍්‍රදේශ එළි පෙහෙළි කර මෙම ගම්මානය ඉදිවීම නිසා දැනට නුවරඑළිය නගර වැසියන් සේම ශාන්තිපුර ගම්මානයේ වැසියෝද උග‍්‍ර ජල හිඟයකට මුහුණ පා සිටිති.
විශේෂයෙන්ම ශාන්තිපුර ගම්මානයේ වැසියන්ගෙන් 95% ක් පමණ ජීවන වෘත්තිය වන්නෙ කෘෂි කර්මාන්තයයි. එම නිසා මෙම ගැටළුව තව දුරටත් ඔඩු දුවමින් පවතී.
ශාන්තිපුර ගම්මානය බොහෝ ඈත ඉතිහාසයට නෑකම් කියන ප‍්‍රදේශයක් බව ඉතිහාස කතා කාරණාවලින් කියවේ. ඒ අනුව වීර කැප්පෙටිපොල අධිකාරම් නිලමේවරයා කලක් රහසිගත ලෙස සැඟවී සිටි ගල් ලෙනද පිහිටා ඇත්තේ මෙකී සුන්දර කිකිළියාමාන කන්දේය.
ශ්‍රී ලංකාවේ වඩාත් උසින්ම පිහිටි සිද්ධස්ථානය ලෙස සැලැකෙනුයේ සමනල ගිර පිහිටි ශ්‍රී පාදස්ථානයයි. මිහිදුමෙන් තොර දිනවලදී ශාන්තිපුර ගම්මානයේ සිට බලන කල සමනල කන්දේ පිහිටි ශ්‍රී පාදස්ථානය සුන්දරව පෙනෙන බව ගම්මු කියති. එහෙත් මෙරට උසින්ම පිහිටි පන්සල පිහිටියේ මෙහිය. එය මුල් කාලයේදී ශාන්තිපුර විහාරය ලෙස නම් කොට තිබුණද එය පසුව ”චේතියගිරි විහාරය” ලෙස නම් කොට ඇත. විහාර භූමියේ වූ විශාල ගල්තලාවක් මත චෛත්‍යයක් ඉදිකොට ඇති අතර ඉන් පසුව මෙම විහාරස්ථානය චේතියගිරි විහාරය ලෙස නම් කරන ලදැයි එම විහාරස්ථානයේ විහාරවාසී හිමිනමක් කීහ.
ශාන්තිපුර ගම්මානයේ මදක් ඉහළට වන්නට රජය විසින් එහි උස් බිමක නැරඹුම් මධ්‍යස්ථානයක් ඉදිකොට තිබේ. එම නැරඹුම් මධ්‍යස්ථානය දැනට පාලනය කරනු ලබනුයේ නුවරඑළිය ප‍්‍රාදේශීය සභාව මගිනි.
මෙම නැරඹුම් මධ්‍යස්ථානය තුළ පවතින වැසිකිළි පද්ධතිය සඳහාද ජලය නොමැතිකම හේතුවෙන් වසා දමා තිබේ. නැරඹුම් මධ්‍යස්ථානයක් එහි තනා ඇතත් ඇතැම් දිනවලට නැරඹුම් මධ්‍යස්ථානයේ සිට සිරි නැරඹීමට එකඳු පුද්ගලයකු හෝ නොපැමිණෙන බව එහි වර්තමාන පාලිකාව වන කේ.වයි.එම්. බියටි‍්‍රස් මහත්මිය සඳහන් කරයි.
මෙම නැරඹුම් මධ්‍යස්ථානයේ ඉහළට ගොඩ වූ විට අවට පරිසරය සිත් සේ නැරඹිය හැක. එක් පසකින් ශ්‍රී පාදස්ථානය පිහිටි සමනල ගිරත්, තවත් පැත්තකින් පිදුරුතලාගල කඳු වැටියත්, තවත් දෙසකින් නුවරඑළිය නගරයත් එහි පිහිටි ග්‍රෙගරි වැවත් අතේ දුරින් සේ තිබෙනු දැකිය හැකිය.
නුවරඑළියට යන එන ඔබ ශ්‍රී ලංකාවේ උසම ගම්මානයට ගොඩවී ඇද්දැයි මම නොදනිමි. මෙම සටහන නෙත ගැටී ඉන්පසු දිනක ඔබ නුවරඑළියට එන්නේ නම් මෙතැනට ඇවිත් යන ලෙස මම ආරාධනා කරමි. එවිට ඔබට ඉහළ අහසේ ඈතින් පෙනෙන මීදුම් සළුවෙන් හැඩ වැඩ වී අවට චමත්කාරය නෙතේ රඳවා ගමට, රටට යා හැකිය.
සටහන හා සේයාරූ -- ශාන්ත චන්ද්‍රසිරි හුලංනුගේ
නුවරඑළිය නගරය පෙනෙන හැටි
නැරඹුම් මධ්‍යස්ථානයට ග්‍රෙගරි වැව පෙනෙන අයුරු
නැරඹුම් මධ්‍යස්ථානය
ශාන්තිපුර විහාරස්ථානය

Comments

Popular posts from this blog

ගමක අසිරිය

වෛද් ‍ ය   රුවන්   එම්   ජයතුංග   අම්ම හදා දුන්න කහට එක නොබීම මම වත්ත පහලට ගියේ දවල්ට කන්න හොඳ කොස් ගෙඩියක් ගේන අදහසින්. නැත්තම් දවල් වෙන කොට කොල්ලෝ කුරුට්ටෝ පැහිලා තියන ගෙඩි ටික කඩාගෙන යනවා. අපට අයිති අක්කර බාගේ වට කරලා වැටක් ගහලා නැති නිසා ඕනම කෙනෙක් වත්තට පනිනවා.     ඒත් අපරාදේ කියන්න බැහැ පොල් ගෙඩි වලට නම් කවුරුවත් අත තියන්නේ නැහැ. ඒක ලොකු දෙයක්. මාස තුනකට සැරයක් හරි අතට තුට්ටු දෙකක් ලැබුනේ පොල් ටික කඩේ මුදලාලිට දීලා. සමහරු මගෙන් අහනවා ඇයි රස්සාවක් කරන්නේ නැත්තේ කියලා ,  රස්සාවක් කරන්න රස්සාවක් ලැබෙන්න එපැයි. මම රස්සා හොයා හොයා එහෙ මෙහෙ දිව්වා. නමුත් හම්බුවෙච්ච රස්සාවක් නැහැ. උපාධිය කරලා සම්මුඛ පරීක්ෂණ වලට බඩගාපු කලේ මම හිටියේ හරිම පීඩනයක. ඔළුවට නිවනක් නැහැ. රස්සා හොයලා හොයලා හති වැටුනම මට තේරුණා රස්සාවක් ලැබෙන්න මන්තීතුමාගේ පස්සේ ගිහිල්ල තියෙන්න ඕන කියලා. මට ඒ දවස්වල ඕවට වෙලාව තිබ්බේ නැහැ . උපාධියට පාඩම් කර කර හිටියා.     මාත් එක්ක එකට සාමාන්‍ය පෙළ කරපු සොකරියා දැන් සමුර්ධි නියාමක. සොකරියාගේ නම බස්නායක ඒත් පරම්පරාවෙන් පරම්පරාවට ...

අපාය - විවිධ අපායන් හා ඒ ඒ අපායට යාමට හේතු

නරකය නරකය කියල කියන්නේ අපි සාමාණ්‍ය ව්‍යවහාරයේ නරකාදිය කියල කියන එකටයි. නරකාදි කියන සිංහල වචනය නරකය+ආදි යන්නේ අපර අක්ෂර ලොප් වි හැදුන වදනක්. මෙයින් හැගවෙන්නේ නරකය ආදි අනිත් අපාය ලෝක කියන එකයි. මෙ නරකයත් කොටස් වලින් යුක්තයි. 01)  සඤ්ජිවය යමපල්ලන් විසින් එහි උපන් සත්ත්වයින් ගිනියමි වු පොළවෙහි පෙරලා කැලි කැලි කොට කපද්දිත් ඒ සත්ත්වයින් නැවත නැවත ජිවත් වන බැවින් මෙ නරකය සඤ්ජිව නම් වෙ.  අධික ක්‍රෝධයෙන් හා මානයෙන් අන්අය හා කලකෝලහල කල අයද, දුබලයන් පෙළු රජවරු නිලධාරි හා අමාත්‍යයෝද, දිලින්දන් පෙළු පොසතුන්ද, මැරයෝද, සතුන් මරන්නෝද මෙ නරකයේ උපදියි. 02) කාලසුත්‍රය උපන් සත්ත්වයින් ගිනියම් වු යපොලවෙහි පෙරලා දැලි නුල් ගසා සසින්නාවු (කියතින් ඉරන්නාවු) නරකය මෙයයි. මාපියන්ට හා මිතුරන්ටද, ගුණවත් මහණ බමුණු ආදින්ටත් අපරාධ කල අය මේ නරකයේ පැසෙයි. 03) සන්ඝාතය මෙම නරකයේ සත්ත්වයෝ යොදුන් නවයක් ඝන ලෝහමය පොළවේ එරි නිස්චලව සිටිති. එහි භයානක හඩක් නංවමින් එහි එරි සිටින සත්ත්වයින් අඹරමින් පර්වතයෝ ඒ මෙ අත පෙරලි යති. ඒවාට යටවි සත්ත්වයෝ තැලි පොඩිවි ඇඹරි යති. ඇත් අස්, ගව ආදි සත්ත්වයිට වද දෙමින් වැඩ ගත් පුද්ගල...

ගම්මඩුව ශාන්තිකර්මය

සෞභාග්‍ය, සශ්‍රීකත්වය, වැස්ස අරභයා මෙන්ම බෝවන රෝග පැතිරයාම වැළැක්වීමට සිංහල ගැමියෝ ගම්මඩුව ශාන්තිකර්මය පවත්වති.විවිධ පළාත්වල දෙවොල් මඩුව, පුණාමඩුව, පහන්මඩුව, ගී මඩුව කිරිමඩුව හා හෑල්ලූම්මඩුව වශයෙන් සුළු වෙනස්කම් සහිතව සතරවරම් දෙවියන් මුල්කරගනිමින් මහා සාම්ප‍්‍රදායික හා චූල සාම්ප‍්‍රදායික ගණයට අයත් දෙවියන් උදෙසා කරන ශාන්ති කර්මය ගම්මඩුවයි. අස්වැන්න සරුවුවහොත් දෙවියන් පිදීමටත් වැස්සෙන් හෝ නියඟයෙන් හානිවූ කළ දෙවියන්ට කන්නලව් කිරීමටත් ගම්මඩු නැටීම සිරිතකි. එසේම සිංහල වෛද්‍ය ක‍්‍රමයටත් ගම්මඩුව බෙහෙවින් සමීපවෙයි. ගිනිමැලේ පෑගීම, බාහිර වටපිටාවේ නියඟ විපර්යාස මෙන්ම මිනිස් සිරුරේ හටගන්නා ගිනියම් ලෙඩ රෝග, අධික තාපය දුරුකිරීමේ මෙහෙයක් හැටියටත් යොදා ගැනෙයි. කිරි ඉතිරැවිම, ගිනියම් පොළොව සිසිල්වී පලදාව වැඩි කැර සෞභාග්‍යය ළඟා කැර ගැනීම ගම්මඩුවෙන් සංකේතවත් කරයි. ගැමියා තම ගොවිතැනින් ලබන අස්වැන්න පරිභෝජනයට පෙර කොටසක් දෙවියන්ට පූජා කරයි. එය අඩුක්කුව/අක්යාල නම් වෙයි. ගම් ආශි‍්‍රතව දෙවියන් වෙනුවෙන් පුද පූජා පවත්වන දේවාලවලදී වාර්ෂිකව දෙවොල් මඩු යාගය පවත්වයිි. අඩුක්කුවවෙන් දේව දානය දි දේවාශිර්වාද පැතීම...