Skip to main content

දෙවිවරු මේ කැළණි බිමේ

 

විහාරස්‌ථාන ආශ්‍රිත ව ප්‍රකට හා අප්‍රකට මෙන් ම ප්‍රධාන හා අප්‍රධාන දෙවිවරුන් දක්‌නට ලැබීම බෞද්ධ ලෝකයේ බොහෝ රටවල දක්‌නට ලැබෙන ලක්‍ෂණයකි. ඓතිහාසික කල්‍යාණි රාජමහා විහාරය හා සබැඳි ශ්‍රී ලාංකික බෞද්ධ දෙවි දේවතාවුන් වහන්සේලා පිළිබඳ කරුණු ස්‌වල්පයක්‌ සමාලෝචනය කිරීම මෙම ලිපියෙහි අරමුණයි.

කැලණි විහාරය ප්‍රධාන, කැලණිය භූමිය විභීෂණ දෙවියන්ගේ වාසභූමිය බව ප්‍රකට කරුණකි. කැලණි වෙහෙර බිම පිහිටි ඓතිහාසික විභීෂණ දේවාලය එහි කේන්ද්‍රස්‌ථානයයි. කැලණිය කේන්ද්‍රකොටගෙන සිරිලක සම්බුදු සසුන සුරකින විභීෂණ දෙවියෝ ශ්‍රී ලාංකික බෞද්ධයන්ගේ අතිමහත් ගෞරවයට, අභිවාදනයට හා අභිමානයට පත්වූවෝය. එය සංකේතවත් කරමින් කැලණි විහාරයේ වාර්ෂික දුරුතු මහා පූජෝත්සව පෙරහැරේ දී විභීෂණ දෙවියන් වෙනුවෙන් ම පෙරහැරක්‌ පවත්වා පූජෝපහාර දක්‌වනු ලැබේ. 

සුප්‍රකට රාම-රාවණ සිද්ධියේ දී විභීෂණ කුමරු සිය සොහොයුරාගේ පාර්ශ්වය නොව අගතියට පත් රාම කුමරුගේ පාර්ශ්වය ගෙන ඔහුට උපකාර කිරීමෙන් තමන් තුළ වූ අපක්‍ෂපාතී, සාධාරණ හා සදාචාරවත් දෘෂ්ඨිය ලොවට විදහා පෑවේය. එහි සාංදෘෂ්ටික ප්‍රතිඵලයක්‌ ලෙස යුද්ධයෙන් ජයගත් රාම කුමරුගේ ආශිර්වාදයෙන් විභීෂණ කුමරු ලක්‌දිව අගරජ ලෙස අභිෂේක කරවනු ලැබිණි. ඉන්පසු විභිෂණ රජ කැලණිපුරය අගනුවර කොට දැහැමෙන් රාජ්‍යය විචාලේය. සිරිලක අගරජ ලෙස ද ධාර්මික ව ජනසෙත සැලසූ එතුමෝ කීර්තිභාවශේෂෝපගතවීමෙන් පසු ලක්‌දිව පමණක්‌ නොව දඹදිව ද දේවත්වයෙන් පුදනු ලැබූහ. එවක්‌ පටන් අද දක්‌වා කැලණිය කේන්ද්‍රකොටගෙන විභීෂණ දෙවියන් පිදීම සිදුකරනු ලබයි. 

විභීෂණ දෙවියන්ට පුද පූජා උපහාර දක්‌වන විශේෂ හේතු කිහිපයක්‌ ම දැකිය හැකිය. ඉන් එකක්‌ නම් දරු සම්පත් පැතීමයි. විභීෂණ දෙවියන්ගේ ආශිර්වාදයෙන් දරු සම්පත් ලැබූවන් අතර රාජ රාජමහාමාත්‍යාදීහු ද වෙති. ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙම කරුණ පිළිබඳ ප්‍රකට ම උදාහරණය කෝට්‌ටේ සිරිපැරකුම්බා රජුගේ කනිටු දියණිය වූ උලකුඩය දේවිය (විවාහයට පෙර ලෝකනාථා කුමරිය) ගේ දරු උපත යි. උලකුඩය දේවියට දරු උපතක්‌ ලබාදෙන ලෙස විභීෂණ දෙවියන්ගෙන් ඉල්ලා තොටගමුවේ ශ්‍රී විජයබා පිරිවෙන්පති ෂඩ්භාෂා පරමේෂ්වර තොටගමුවේ සිරි රාහුල හිමියන් සැළලිහිණියකු දූතයා කොට යෑවූ සැළලිහිණි සන්දේශය එම ඓතිහාසික සිද්ධියේ සාහිත්‍යාගත සාක්‍ෂියයි. ඉන් උපන් පුත් කුමරු දෙවැනි විජයබා ලෙස කෝට්‌ටේ රජ පදවියට ද පත්විය. මෙසේ දරු සම්පත් පතා විභීෂණ දෙවියන් පිදීම අද දක්‌වා ම කැලණියේ පවත්නා චාරිත්‍රයකි. 

විභීෂණ දෙවියන්ගේ තවත් විශේෂයක්‌ ලෙස සතුරන් සහ බාධක ජයගැනීමට ආශිර්වාද කිරීම දැක්‌ වේ. සතුරන් බියට පත්කළ බැවින් විභීෂණ නම් වූ බව ද සඳහන් ය. සිය බාධක ජයගනුවස්‌ විභීෂණ දෙවියන්ට පින්පෙත් දී පිහිට පැතීම අද ද සිදුවෙයි. 

කැලණි විහාරයේ ඓතිහාසික විහාර මන්දිරයෙහි පැරණි විහාරය කොටසෙහි ඇතුල් මාලයේ සැතපෙන පිළිමයට දකුණු පසින් දේවාල මන්දිරයක්‌ වෙයි. එහි විෂ්ණු කතරගම (නම සඳහන් වන්නේ කන්දස්‍යාමි ලෙසිනි) සහ සිරි සුමන සමන් දෙවියන් වෙනුවෙන් වන දේවාලයකි. එම මූර්තිමත් දේව ප්‍රතිමා නුවර යුගයේ නිර්මාණ ලක්‍ෂණ විදහා දක්‌වයි. ඉන් ඉදිරිපස බිත්තියෙහි ඇතුල් මාලයේ දකුණු පස දොරටුවේ වම්පස ගණ දෙවියන් සහ ඊෂ්වර දෙවියන් චිත්‍රණය කොට ඇත. දොරටුවට දකුණු පසින් ගන්ධර්වාධිපති ධ්‍රැතරාෂ්ට්‍ර දෙවි, නාගාධිපති විරූළ්හ දෙවි, කුම්භණ්‌ඩාධිපති විරූපාක්‍ෂ දෙවි, යක්‍ෂාධිපති වෛශ්‍රවන දෙවි යන සතර වරම් දෙවිමහරජදරුවන් චිත්‍රණය කොට ඇත. දකුණු පස දොරටුවට දකුණු පසින් සමන් දෙවියන් සහ විභීෂණ දෙවියන් චිත්‍රණය කොට ඇත. මෙම චිත්‍ර සියල්ලක්‌ ම ද නුවර යුගයේ බිතුසිතුවම් ලක්‍ෂණ මැනවින් ප්‍රකට කරයි. 

තුනුරුවන් සරණ ගිය පින් කැමති ශාසනාරක්‍ෂක හා ශාසනමාමක දෙවි දේවතාවන් මෙන් ම හින්දු දේව සම්ප්‍රදායට අයත් දෙවිවරු ද මෙසේ චිත්‍රණය කොට ඇති බව පෙනේ. ඉහත සඳහන් කළ විභීෂණ දේවාලයේ ප්‍රධාන දොරටුව දකුණු පසින් ගම්භාර දෙවියන් සඳහා වූ දේව මන්දිරයක්‌ වෙයි. 

නැවත අභිනව විහාර මන්දිරයේ පිටත බිත්තියෙහි විෂ්ණු, කතරගම, සුමන සමන් දේව ප්‍රතිමා මූර්තිමත් කොට තිබේ. ඒ අතර ඇති විභීෂණ අභිෂේකය ශ්‍රී ලංකාවේ විහාරචිත්‍ර මූර්ති අතර දක්‌නට ලැබෙන දුර්ලභ මූර්තියකි. එහි ම ඇති නාථ දෙවියන් ලෙස ද දැක්‌වෙන මෛත්‍රී බෝධිසත්ව ප්‍රතිමාව ද සුවිශේෂ ය. 

රවි දේවතාවන් ප්‍රධාන නවග්‍රහ දේවප්‍රතිමා සහිත නවග්‍රහ දේව මන්දිරය ද ලක්‌දිව නන් දෙසින් නිතිපතා ආශිර්වාද පතා පැමිණෙන කැලණි විහාරයේ නවාංගයකි. 

සබරගමු බස්‌නාහිර ප්‍රදේශවලට සුවිශේෂ රන්වල දෙවියන් නිරන්තරයෙන් කැලණි වෙහෙර වන්දනාවෙහි යෙදෙන බව පිළිගැනේ. කැලණි ගඟ සිය ගමන්මග කොටගෙන මෙම රන්වල දෙවියන් නිතර කැලණිවෙහෙර වැඳීමට පැමිණීම පිළිබඳ තොරතුරු හා කතන්දර මේ පෙදෙස්‌ ආශ්‍රිත වැසියන් අතර ජනප්‍රිය ය. රන්වල දෙවියන් වෙනුවෙන් උපහාර පූජා පැවැත්වීම ද කැලණි ගඟ ආශ්‍රයෙහි වෙසෙන ජනී ජනයාට ආවේණික සංස්‌කෘතිකාංගයකි. 

ආසියානු බෞද්ධ හා අනෙකුත් සම්ප්‍රදායයන්හි නාගයන් සලකනු ලබන්නේ භූම්‍යස්‌ථ දේව කොට්‌ඨාසයක්‌ ලෙසිනි. ජලාශ්‍රිත පුදබිම්වල නාගයෝ (නාග දෙවිවරු) විශේෂයෙන් පුද ලබති. සුවණ්‌ණ, අසුර, යක්‍ෂ, ගාන්ධර්ව යන සත්ත්ව කොට්‌ඨාසයෝ දේවතා ගණයට ද වැටෙන සෙසු බලසම්පන්න භූම්‍යස්‌ථ ජීවීහු වෙති. 

නාගරාජවරු අතර ලක්‌දිව චිරප්‍රසිද්ධ වූවෝ මණිඅක්‌ක නා රජු ය. එතුමන්ගේ වාසභූමිය ද කැලණියයි. තථාගතයන් වහන්සේට කැලණියට වැඩමවීමට ආරාධනා කළ මෙතුමා බුදුරදුන්ගේ තෙවැනි ලංකාගමනයේ ප්‍රධාන අනුග්‍රාහක දායකයා ද විය. කැලණි විහාරයේ ස්‌ථාන දෙකක මෙතුමන්ගේ ප්‍රතිමා දක්‌නට ලැබේ. ඉන් එකක පැරණි විහාර කොටසේ ඉදිරිපස බිත්තියේ මූර්තිමත් කොට ඇති නුවර යුගයට අයත් විශාල ප්‍රමාණයේ (දහඅට රියනක්‌ පමණ වන) ප්‍රතිමාවයි. එහි දෙපස නාගකන්‍යා රූප දෙකක්‌ ද විද්‍යමාන ය. දෙවැන්න නව විහාරයේ පිටත බිත්තියේ මූර්තිමත් කොට ඇති නව ප්‍රතිමාවයි. මණිඅක්‌ක නා රජුන්ගේ ප්‍රතිමාවක්‌ හෝ චිත්‍රයක්‌ වුව ද දක්‌නට ලැබෙන වෙනත් පූජනීය ස්‌ථානයක්‌ පිළිබඳ තොරතුරු අප්‍රකට බැවින් මෙම නිර්මාණය ද කැලණි විහාරයටම සුවිශේෂී වූ නිර්මාණ බව සිතීම නිවරැදි ය. 

----------------------------------------------------------------------
පූජ්‍ය දර්ශනපති දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්‌ඛිත හිමි 
(කැලණිය රාජමහා විහාරවාසී, විහාරාධිකාරි, මෙත්තා විහාරය, තකසු, ජපානය, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, පාලි හා බෞද්ධ අධ්‍යයනාංශය, කැලණිය විශ්වවිද්‍යාලය) 
උපුටා ගැනීම දිවයින පත්‍රයෙනි.

Comments

Popular posts from this blog

ගමක අසිරිය

වෛද් ‍ ය   රුවන්   එම්   ජයතුංග   අම්ම හදා දුන්න කහට එක නොබීම මම වත්ත පහලට ගියේ දවල්ට කන්න හොඳ කොස් ගෙඩියක් ගේන අදහසින්. නැත්තම් දවල් වෙන කොට කොල්ලෝ කුරුට්ටෝ පැහිලා තියන ගෙඩි ටික කඩාගෙන යනවා. අපට අයිති අක්කර බාගේ වට කරලා වැටක් ගහලා නැති නිසා ඕනම කෙනෙක් වත්තට පනිනවා.     ඒත් අපරාදේ කියන්න බැහැ පොල් ගෙඩි වලට නම් කවුරුවත් අත තියන්නේ නැහැ. ඒක ලොකු දෙයක්. මාස තුනකට සැරයක් හරි අතට තුට්ටු දෙකක් ලැබුනේ පොල් ටික කඩේ මුදලාලිට දීලා. සමහරු මගෙන් අහනවා ඇයි රස්සාවක් කරන්නේ නැත්තේ කියලා ,  රස්සාවක් කරන්න රස්සාවක් ලැබෙන්න එපැයි. මම රස්සා හොයා හොයා එහෙ මෙහෙ දිව්වා. නමුත් හම්බුවෙච්ච රස්සාවක් නැහැ. උපාධිය කරලා සම්මුඛ පරීක්ෂණ වලට බඩගාපු කලේ මම හිටියේ හරිම පීඩනයක. ඔළුවට නිවනක් නැහැ. රස්සා හොයලා හොයලා හති වැටුනම මට තේරුණා රස්සාවක් ලැබෙන්න මන්තීතුමාගේ පස්සේ ගිහිල්ල තියෙන්න ඕන කියලා. මට ඒ දවස්වල ඕවට වෙලාව තිබ්බේ නැහැ . උපාධියට පාඩම් කර කර හිටියා.     මාත් එක්ක එකට සාමාන්‍ය පෙළ කරපු සොකරියා දැන් සමුර්ධි නියාමක. සොකරියාගේ නම බස්නායක ඒත් පරම්පරාවෙන් පරම්පරාවට ...

ගම්මඩුව ශාන්තිකර්මය

සෞභාග්‍ය, සශ්‍රීකත්වය, වැස්ස අරභයා මෙන්ම බෝවන රෝග පැතිරයාම වැළැක්වීමට සිංහල ගැමියෝ ගම්මඩුව ශාන්තිකර්මය පවත්වති.විවිධ පළාත්වල දෙවොල් මඩුව, පුණාමඩුව, පහන්මඩුව, ගී මඩුව කිරිමඩුව හා හෑල්ලූම්මඩුව වශයෙන් සුළු වෙනස්කම් සහිතව සතරවරම් දෙවියන් මුල්කරගනිමින් මහා සාම්ප‍්‍රදායික හා චූල සාම්ප‍්‍රදායික ගණයට අයත් දෙවියන් උදෙසා කරන ශාන්ති කර්මය ගම්මඩුවයි. අස්වැන්න සරුවුවහොත් දෙවියන් පිදීමටත් වැස්සෙන් හෝ නියඟයෙන් හානිවූ කළ දෙවියන්ට කන්නලව් කිරීමටත් ගම්මඩු නැටීම සිරිතකි. එසේම සිංහල වෛද්‍ය ක‍්‍රමයටත් ගම්මඩුව බෙහෙවින් සමීපවෙයි. ගිනිමැලේ පෑගීම, බාහිර වටපිටාවේ නියඟ විපර්යාස මෙන්ම මිනිස් සිරුරේ හටගන්නා ගිනියම් ලෙඩ රෝග, අධික තාපය දුරුකිරීමේ මෙහෙයක් හැටියටත් යොදා ගැනෙයි. කිරි ඉතිරැවිම, ගිනියම් පොළොව සිසිල්වී පලදාව වැඩි කැර සෞභාග්‍යය ළඟා කැර ගැනීම ගම්මඩුවෙන් සංකේතවත් කරයි. ගැමියා තම ගොවිතැනින් ලබන අස්වැන්න පරිභෝජනයට පෙර කොටසක් දෙවියන්ට පූජා කරයි. එය අඩුක්කුව/අක්යාල නම් වෙයි. ගම් ආශි‍්‍රතව දෙවියන් වෙනුවෙන් පුද පූජා පවත්වන දේවාලවලදී වාර්ෂිකව දෙවොල් මඩු යාගය පවත්වයිි. අඩුක්කුවවෙන් දේව දානය දි දේවාශිර්වාද පැතීම...

ගම්මඩුව 2

වාහල් නැටුම දැඩිමුන්ඩ, වාහල බණ්ඩාර හෙවත් දේවතා බණ්ඩාර දෙවියන් වෙනුවෙන් වාහල නැටුම පුදයි. දුම්මල කීරි ගසමින් යක්ෂයන් පලවා හරියි. දෑස් වැසෙන සේ උල් හිස් වැසුමකින්ද පළු දෙකකින් යුත් අත්දිග වර්ණ සැට්ටයකින්ද ඉන හැඩය හා බඳ පටිය පලදියි. පුටුවක වාඩි කරවන නැට්ටුවාගේ යටිපතුල් දුම්මල කබලකින් රත්කර දුම් මුහුණට ලංකර හොදහැටි උරාගනී. අනතුරුව මුගුර, අගරු කබල පොල්මල කහ දියර කොතලය පන්දම් ආදී පූජාභාණ්ඩ ගෙන වාහල යහනෙහි සිට මල්යහන් වෙතට අවධානය යොමුකරමින් එක්තරා රටාවකට නටයි. අවසානයේ දුම්මල කීරි ගසමින් යකුන් පලවා හරියි. බොහෝ විට පැය දෙකක් තුනක් පමණ ප‍්‍රලයවී නටයි. නැටුම අවසානයේ කහදියර ඉසීමෙන් පසු යථා තත්වයට පත්වෙයි. අඹ විදමන දකුණු ඉන්දියාවේ පඪිරජුගේ අඹ උයනෙහි හටගත් අරුම පුදුම අඹයක් බිද හෙලීම හුවා දක්වමින් නාට්‍යමය ස්වරූපයෙන් අඹ විදමන දක්වයි. ශකයා මහල්ලෙකුගේ වේශයෙන් පැමිණෙන ආකාරය දැක්වෙයි. බෙරකරුවන් සහ මහල්ලා අතර දෙපැත්ත කැපෙන වචනවලින් මෙන්ම අසභ්‍ය වචනවලින්ද රසවත් සංවාදයක් ඇතිවෙයි. මහල්ලාගේ ස්තී‘ ලෝලත්වයත් කාමුකත්වයත් ගැවියාගේ මනසට කා වැද්දීම තුළින් ප‘ජනනය ආදී මනුෂ්‍ය කාර්යයන් පිළිබද උනන්දුවක් මෙන්ම දැ...